ඓතිහාසික දිගාමඩුලු පුරවරයේ, වැව්ගම්පත්තුව දකුණ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,මඩවලලන්ද ග්‍රාම නිලධාරි වසමේ සොඳුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම ආලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
ඉලුක් සෙවිලි කල කටු මැටියෙන් සැදුම්ලත් කුඩා කුටියක් තුළ සිසුන් 17 දෙනෙකුගෙන් 1940.05.11 වන දින මඩකලපුව දිස්ත්‍රිකයේ පාසල් අංක B.T.704 යටතේ මුල් ගුරු මුදලිහාමි මහතාගේ විදුහල්පතීත්වයෙන් මෙම පාසල ආරම්භ කර ඇත.ඇතුලත්වීමේ අංක 01 මැද්දමා බඩපිස්සා මුතුබණ්ඩා ප්‍රථම ශිෂ්‍යයා වශයෙන් ලියාපදිංචි වී සිටි අතර ඔහුගෙන් ඇරඹි ගමන දැනට වයස අවුරුදු 83 ක් පුරා රූක්ෂ ගසක් ලෙස වැඩෙමින් මානව හා භෞතික සම්පතින් අතු ඉති දමා දමන කොට්ඨාසයේ උපරිම අයුරින් සංවර්ධනය කරා පිය නගමින් සිටින පාසලකි.නැගෙනහිර පළාතේ මෙන්ම මුලු ශ්‍රී ලංකා ද්වීපය පුරා විද්වතුන් බිහි වූ බවට මෙහි සිටින සියලුම විදුහල්පතිවරුන් ගුරුවරුන් දූ දරුවන් හා දෙමව්පියන් අපමණ කැපවීමක් කර ඇති බව ඉතිහාසය පිළිබඳ තොරතුරු ගවේෂණයේදී අපට හමු විය.
පාසල් භූමිය අක්කර 10 කට සීමා කර මෙම පාසල ආරම්භ කළත් පසු කාලයේදී ගම් වැසියන් කිහිපදෙනෙකු මෙහි කොටස් තමන් සතු කර ගැනීමට උත්සහ කර ඇත.ඉතිහාසයේ මොවුන් සමඟ සුහදව මෙය නිරාකරණය කර ගැනීමට නොහැකි වූ අවස්ථාවකදී විදුහලේ එවකට විදුහල්පති වරයා ලෙස කටයුතු කළ ආර්.ඒ. විජේවික්‍රම මහතා උසාවි ගොස් මෙම භූමියේ අයිතිය පාසල සතු කරගෙන ඇත.ඒ අනුව පාසලට අවශ්‍ය ක්‍රීඩා පිටිය නිල වශයෙන් 1980.06.11 දින ලබා දීමට කටයුතු කර ඇත.
මෙම පාසල ප්‍රථමයෙන් අ.පොස.(සා.පෙළ) විභාගයට පෙනී සිට ඇත්තේ 1964 වර්ෂයේදීය.එහිදී ඉදිරිපත් වූ එස්.එම්.ධර්මසේන මහතා අ.පොස.(සා.පෙළ) විභාගය සමත් වූ බව ඉතිහාසය තුළ ලියවී ඇත.1986.06.17 දින අ.පො.ස (උ.පෙළ) ආරම්භ කර ඇත.1C පාසලක් ලෙස ඇරඹි මෙම පාසල ප්‍රදේශයේ දීප්තිමත් පාසලක් බවට පත්ව තිබේ. අප පාසලේ දියුණුවට කැපවූ ගුරුභවතුන් ,දූදරුවන්,දෙමව්පියන් ගෞරවයෙන් සිහිපත් කරන අතර පෙර ගමන්කරුවන් ලෙස කටයුතු කළ විදුහල්පතිවරුන්ගේ නාමාවලිය විශේෂ කොට තබන්නේ ඔවුන්ගේ මග පෙන්වීම මෙම ශ්‍රී විභූතිය ලබා ගැනීමට දායක වූ හෙයිනි.
මෙහි වසර 20 ක් පමණ සේවය කළ සරත් තලාගොඩ නම් විදුහල්පතිවරයාගේ කාල සීමාවේදී මෙහි භෞතික හා මානව සම්පත් සීඝ්‍රයෙන් වර්ධනය වූ බවට සාක්ෂි ඇත.
අප අතරින් වියෝ වූ ඒ.පී හරිස්චන්ද්‍ර මහතා, අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එල්.එම්.ඩී.පියසේන මැතිතුමාගේ මැදිහත්වීමෙන් KOICA ආයතනයේ පරිත්‍යාගයක් වන අංග සම්පූර්ණ දෙමහල් ගොඩනැගිල්ලක් ලබා ගැනීමටත් විද්‍යාලීය ගුරු අවශ්‍යතා සපුරාලමින් සිසු ගුරු දෙපාර්ශවයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය කිරීමේහිලා පුරෝගාමීව කටයුතු කරනු ලැබූවේ විද්‍යාලීය දැක්ම හා මෙහෙවර පෙරටු කොට සලකමිනි.
2015.05.11 දිනට වර්ෂ 75 ක් සපිරීම නිමිත්තෙන් විද්‍යාලය මුල්කර ගනිමින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලද අතර සහෝදර පාසල් අතර දූ දරුවන් මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබා දී ඇගයීමට ලක් කරන ලදී.විශේෂයෙන්ම 75 වන සංවත්සරය සඳහා මඩවලලන්ද විද්‍යාලයෙන් සිරිලකට දායාද කරන ලද හිටපු යුධ හමුදාපති ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ සහභාගීත්වය ආඩම්බරයකි.
2016 වර්ෂයේ රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති අතර “ළඟම පාසල හොඳම පාසල” ලෙස අප පාසල තෝරා ගත් අතර භෞතික පහසුකම් සංවර්ධනය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙමින් පවතී.
2017 වර්ෂයේ විදුහල්පති ඒ.පී.හරිස්චන්ද්‍ර මහතාගේ හදිසි අභාවයෙන් පසුව ,ඒ වන විට නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කළ විනී ජයලත් මහතා විසින් මාස 07 ක පමණ කාලයක් පාසලේ පරිපාලන කටයුතු මෙහයවන ලදී.
2017.09.18 වන දින අශෝක පතිරණ මහතා විසින් නව විදුහල්පතිවරයා ලෙස වැඩ භාර ගන්නා ලදී.පාසල් සංවර්ධන කටයුතු සීඝ්‍රයෙන් සිදු වෙමින් පැවති මේ වකවානුවේ ,අධ්‍යාපන පරිපාලන සේවා විභාගය සමත් වී එතුමා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයේ වැඩ භාර ගැනීම හේතුවෙන් පාසලේ වැඩ බලන විදුහල්පති ලෙස කටයුතු කරනු ලැබූයේ ඊ.ඒ.අයි.එදිරිසිංහ මහතා විසිනි.මාස නවයක් පුරාවට පාසල් පරිපාලන කටයුතු ඉතා සාර්ථක අයුරින් කරගෙන යමින් පාසලේ අභිවෘද්ධියට ඉමහත් මෙහෙවරක් එතුමා විසින් සිදු කරන ලදී.
2018.07.12 වන දින පාසලට ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙකු ලෙස කේ.සුනිල් ප්‍රේමරත්න පෙරේරා මහතාගේ ආගමනයත් සමඟ පාසල් පරිපාලන කටයුතු නවමු මුහුණුවරකින් සිදුවන්නට විය. එතුමාගේ නව දැක්ම අනුව යමින් මඩවලලන්ද මහා විද්‍යාලය “ජාතික පාසලක් ” කිරීමේ ක්‍රියාවලියේ පෙරගමන්කරු ලෙස මූලික අදියරේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.
ඒ අනුව දමන කොට්ඨාසයේ ශිෂ්‍ය ඝනත්වය වැඩිම සහ අධ්‍යාපනයේ ගුණාත්මක මෙන්ම භෞතික සම්පත් අතින්ද ප්‍රමුඛ ස්ථානය ගැනෙන මඩවලලන්ද මහා විද්‍යාලය දිගාමඩුල්ලේ අභිමානවත් පාසල් අතරින් සුවිශේෂී වුවකි.
මේ වන විට කලා සහ වාණිජ අංශ වලින් විශාල ළමුන් පිරිසක් මේ දක්වා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ඇති අතර සෞන්දර්යය, ක්‍රීඩා වැනි විෂය සමගාමී ක්‍රියාකාරකම් වලින් සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගෙන ඇත.
“රට හදන සෞභාග්‍යයේ දැක්ම “ රාජ්‍ය ප්‍රතිපත්තියෙහි නිර්දේශිත ජාතික පාසල් 1000 සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2021.05.17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අම්/ මඩවලලන්ද මහා විද්‍යාලයද ජාතික පාසලක් ලෙස නම් කිරීම පාසල් ප්‍රජාවට පමණක් නොව දමන කොට්ඨාසයටම සුවිශේෂී වූවකි.ඒ අනුව පාසල් පාදක මධ්‍ය කාලීන සංවර්ධන සැලසුම් සකස් කිරීමේ මූලික අදියරේ වැඩකටයුතු විදුහල්පති කේ. සුනිල් ප්‍රේමරත්න පෙරේරා මහතා ප්‍රමුඛ සියලුම පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලදී.
ජාතික පාසල් සංකල්පය යටතේ පාසලේ ඉදිරි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ එක් පියවරක් ලෙස පාසලේ ප්‍රාථමික අංශය වෙන් කරමි.2022.02.11 දින සිසු අයිතියට පැවරීම පාසල ලැබූ තවත් එක් ජයග්‍රහණයකි.
දි2022.11.22 වන විදුහල්පති කේ. සුනිල් ප්‍රේමරත්න පෙරේරා මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව වර්තමාන විදුහල්පති එස්.ඩබ්ලිව්.ඒ.පී.සිරිනන්ද මහතා 2023.01.02 වන දින පාසලේ රාජකාරී භාර ගන්නා ලදී.එතුමා යටතේ පාසලේ භෞතික පහසුකම් සැළසුම්කරණයත් , ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ගුණාත්මක සංවර්ධනයක් වෙනුවෙන් අවශ්‍ය කරන්නාවූ සැළසුම්කරණයන් , සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ආරම්භ කරමින් මේ වන විටත් සිදු වෙමින් පවතී.
2021 වර්ෂයේ සිට ද්වී භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය , පුරවැසි අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සඳහා පවත්වාගෙන යාමට හැකිවීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි.විෂය සමගාමී කටයුතු ලෙස ක්‍රීඩා , ශිෂ්‍යභට , චාරිකා ,සමිති සමාගම් , අධ්‍යාපනික ප්‍රදර්ශන ,විවිධ දින(සිංහල භාෂා ,වාණිජ දින ආදී ) , විවිධ ආගමික වැඩසටන් ,වාර්ෂිකව පවත්වන රසදීපනී ප්‍රසංගය, සාහිත්‍ය උත්සව , නායකත්ව පුහුණු වැඩසටහන් , රිය නියාමක වැඩසටහන්,විවාද කණ්ඩායම්,මාධ්‍ය ඒකකය ,ප්‍රථමාධාර ඒකකය ,පරිසර නියමු වැඩසටහන් ,විවිධ සුබසාධන කටයුතු,සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථකව ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 46 කින් සමන්විත වන අතර 07 දෙනෙකුන්ගෙන් සමන්විත අනධ්‍යයන කාර්යය මණ්ඩලයක් ඇත.1200 ක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සඳහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටියි. ” පෙරඹරින් මුළු ලොවට දිනිඳු මෙන් දරු කැළක් ” යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලයේද දෙමව්පියන්ගේද අධ්‍යාපන බලධාරින්ගෙන්ද ලැබෙන සහය විශාල ශක්තියකි.
|
ආරම්භ කළ වර්ෂය |
1940 මැයි 11 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
17 |
|
මුල් ගුරුතුමාගේ නම |
මුදලිහාමි මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මඩවලලන්ද මහා විද්‍යාලය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
මැද්දමා බඩපිස්සා මුතුබණ්ඩා |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 මැයි 11 |